Thursday, July 15, 2021

විද්දා

අද 2021-07-22, බ්‍රහස්පතින්දා.

මේ බ්ලොග් එක ලියන්නේ මට මතක හැටියට ගොඩක් කාලෙකින්. 2012 දෙසැම්බර් 21 න් පස්සේ අද තමයි බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නේ. මායා දින කැලැන්ඩරය අනුව ලෝක විනාශය සිදුවේයැයි ලෝකයක් විශ්වාස කරපු දවසේ පොස්ට් ඒකක් දාන්න ඕන නිසා එදා පෝස්ට් එකක් දැම්මා. අද මම කොරෝනා වැක්සීන් එක විදගත්තා. මේ දවසත් මතකයේ තියෙන්න ඕන දිනයක් කියල හිතුන නිසා අතහැරල වගේ තිබුණ බ්ලොග් එකේ සටහනක් ලියන්න හිතුනා.

දැන් මාස දෙකක් විතර ලංකාවේ ඉස්කෝල වහල. කියන්නත් බැරිවුනා. මේ බ්ලොග් එකට අන්තිමට පෝස්ට් එක දාන කාලෙ මම ඉගෙනගන්නවා. එදායින් පස්සේ ජීවිතේ ගොඩක් වෙනස්කම් උනා. අද ඉතිං ඉස්කෝලෙක උගන්වන රැකියාවක් කරනවා මම. හරි..කතාවට යමු.. අද අපේ ඉස්කෝලෙ ටීචර්ස්ලට වැක්සීන් එක විදිනවා. ඇල්පිටිය හොස්පිටල් එකට ගිහිං ඒක විදගෙන ආවා. ඒ විදපු වෙලාවේ ඇගට වෙනසක් දැනුනා වගේ එකකුත් දැනුනා. එක එකා එන්නත ගැන කියපු කතා නිසා හිතෙන් හදපු වෙනසක් කියල තමයි හිතෙන්නේ. දැන් වෙලාව රාත්‍රී10.30 යි. දැනුත් ඉතිං ඒ වෙනස දැනෙනවා. ඇගට වෙනසක් දැනෙන්නේ එන්නත, චීනෙන් ගෙනාපු නිසාද මංද ඉතිං...

ඔන්න ඕකයි කතාව. දැන් ඉතිං වෙනදා වගේ දිනපොත් පාවිච්චි කරන්නේ නැති නිසා, මතකයක් අන්තර්ජාලයේ බ්ලොග් එකේ තියල තියන්න හිතුවා. දැන් ඒක හරි.

Friday, February 6, 2015

Prejustination: පිරිමීෂ්වරත්වය

Prejustination: පිරිමීෂ්වරත්වය:
විමෝචනාත්මක
 පුරුෂමය
 ... 
තත්පර
 ... තුන්සියයක්

Friday, December 21, 2012

2012 දෙසැම්බර් 21

කලින් බ්ලොග් පෝස්ට් එක ලියල මාස 4 ක් වෙනවා. අද දවස විශේෂ දවසක් නිසා වැඩ ගොඩක් මැද උනත් බ්ලෝග් එකේ මොනව හරි ලියල යන්න හිතුනා. ඒ මොකද, අනාගතේ දවසක අනිවාර්යෙන් අද දවස (2012-12-21) ගැන කතා කරයි. ඒ කියන්නේ අද දවසේ ලෝක විනාශයක් වෙනව කියල මේ ලෝකෙ සමහර අය බලාගෙන හිටිය කියල අනාගතයේ දවසක කියයි.

මේ දවස එන්න කලින් ගොඩක් දෙනා ගොඩක් දේවල් මේ දවසේ සිද්ධ වෙයි කියල කිව්වා. කට්ටියක් ලෝක විනාසේ වෙයි කියල කියන කොට, තවත් කට්ටියක් කිව්වා අද දවසින් ලෝකේ අලුත් යුගයක් පටන් ගන්නව කියල. ඒ අස්සේ ලංකාවේ ගොඩක් දෙනෙක් රාවණා රජු නිදා ඉන්න නින්දෙන් නැගිටින දවස අද කියලත් කිව්වා. ඒ මොනවත් නම් උනේ නැහැ. ඒත්  අද දවසේ කොළඹ සමහර තැන්වල වෙනදට වඩා සෙනග නම් අඩුයි කියල දැනුනා. තවත් කට්ටියක් ‍ලෝක විනාසෙට කලින් නිවාඩු දාල කොළඹ ඉදන් ගමේ ගිහිල්ල කියල මාධ්‍යයේ කියනවත් ඇහුණා.

ඒත් ඒ කියපු හිතපු දේවල් නම් උනේ නැහැ. වෙනද වගේම දවස ගෙවිල ගියා. ලොකු දෙයක් නැහැ. නිකමට කිව්වේ. අද දවසේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්න හිතුන නිසා සහ අධික කාර්යබහුලත්වය නිසා කාලෙකින් මුකුත්ම ලිව්වේ නැති නිසා ලිව්වේ. එහෙනම් ජය වේවා!

Monday, August 20, 2012

ඉන්දීය සිනමාවේ කීර්තිමත් ම දුෂ්ටයා වූ අසහාය නලුවා - අම්රිෂ් පූරි

අම්රිෂ් පූරී මොගැම්බෝ ලෙස
දවසක් කියවපු බ්ලොග් පෝස්ට් එකක තිබුන දෙයක් තමයි, කුඩා දරුවගේ පටන් තරුණ දරුවා දක්වා පෙන්නන්න බැරි ඉන්දියානුවා කවුද කියල. ඒ ඇත්තටම වෙන කවුරුත් නෙමෙයි,  ඉන්දීය සිනමාවේ සුප්‍රසිද්ධම දුෂ්ටයා වූ අම්රිෂ් පූරි. අපි පොඩි කාලේ බලපු ගොඩක් හින්දි චිත්‍රපටිවල හිටපු දුෂ්ඨයා කවුද කියල  කාටත් මතක ඇති නේද? ඒ තමයි අම්රිෂ් පූරි.

ඉන්දීය සිනමාවේ එතෙක් මෙතෙක් බිහි වුණු අසහාය දුෂ්ඨ චරිත රගපාපු අම්රිෂ් පූරි මහතගේ සම්පූර්ණ නම වෙන්නේ අම්රිෂ් සිංග් පූරි (Amrish Singh Puri) ය. සර්දාර් නිහාල් සිංග් පූරි( Sardar Nihal Singh Puri) සහ සර්දානි වෙඩ් කාර් (Sardarni Ved Kaur) ට දාව ඉපදුණු අම්රිෂ් පූරි, දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වැනියා වේ. ඉන්දියාවේ ජලන්දාර් දිස්ත්‍රික්කයේ නවන්ෂාර්( Nawanshahr) හි 1932 ජුනි 22 දින අම්රිෂ් පූරි උපත ලබයි. ඉන්දියාවේ ශිම්ලා හි B.M.Collage හි දී තම උපාධිය හදාරන පූරි, නලුවෙකු වීම සදහා මුම්බායි වෙත එනුයේ, නලුවන් වූ චමන් පූරි(Chaman Puri) සහ මදාන් පූරි(Madan Puri) වන තම සහෝදරයන් ගිය මග ගැනීමට ය.

අම්රිෂ් පූරිගේ මුල් බලාපොරොත්තුව වූයේ සිනමා වීරයෙකු වීමට ය. ඉන්දියාවේ සිනමාවේ වීරයෙකු වීමේ අරමුණ ඇතිව පැමිණි අම්රිෂ් පූරි මුල්වරට මුහුණ දෙන තිර පරීක්ෂණය (Screen Test) අසමත් වේ. එයින් පසු ඔහු රක්ෂණ සමාගමක රැකියාවක් සොයා ගනී. රැකියාව කරන අතරතුර අම්රිෂ් පූරි Prithvi Theatre නම් ඉන්දියාවේ විශිෂ්ඨ නෘත්‍ය ශාලාවේ දී වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වේ. වේදිකා නාට්‍ය රගපාන අතර 1979 දී සන්ගීත් නාටක් සම්මානය (Sangeet Natak Akademi Award) දිනා ගැනීමට අම්රිෂ් පූරි සමත් වේ. මෙම සම්මානය ලැබීමත් සමග අම්රිෂ් පූරි ඉන්දීය රූපවාහිනිය තුල ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වේ. වෙළද දැන්වීම් විශාල ප්‍රමාණයක අම්රිෂ් පූරි පෙනී සිටී. එසේම තම මුල් කාලීන සිහිනය වූ සිනමා නලුවෙකු වීමේ අවස්තාව ඒ අනුව අම්රිෂ් පූරි ට උදා වේ. ඒ වන විට අම්රිෂ් පූරිගේ වයස අවුරුදු 40 ක් වේ.

අම්රිෂ් පූරි රගපාන ප්‍රථම චිත්‍රපටය වනුයේ ප්‍රේම් පුජාරී (Prem Pujari ) ය . ඒ 1971 දී ය. එසේ තම සිනමා දිවිය ආරම්භ කරන අම්රිෂ් පූරි ලෝකයේ බොහෝ සිනමාවන් හි තම දක්ෂතාවය පෙන්වා තිබේ. බොහෝ විට දුෂ්ටයාගේ චරිතය රග දක්වන පූරි එසේ නොවන චරිත රගපෑ අවස්ථාවන් ද ඇත. හින්දි, කන්නඩ, මරාති, පන්ජාබ්, මලයාලම් , තෙලිගු සහ දෙමළ චිත්‍රපටි වල රගපා ඇති අම්රිෂ් පූරි බොලිවුඩ් සිනමාවේ ද චිත්‍රපටවලට දායක වී ඇත. සුප්‍රකට බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක ස්ටීවන් ස්පීල්බර්ගේ ඉන්ඩියානා ජෝන්ස් (Indiana Jones and the Temple of Doom.) චිත්‍රපටයේ ද අම්රිෂ් පූරි තම රංගන ප්‍රතිභාව පෙන්වා ඇත.

අම්රිෂ් පූරි යන මහා ඉන්දීය චිත්‍රපට නලුවා වඩාත් ජනප්‍රිය අප්‍රසාදයට පත් වූයේ 1980 න් පසුවය. ඉන්දීය සිනමාවේ අසහාය දුෂ්ටයා වූ අම්රිෂ් පූරි ‍චිත්‍රපට 400 ට වඩා රගපා ඇත. තමන්ගේ රූපය‍ සහ ගොරෝසු කටහඩ නිසා ඉන්දීය සිනමාවේ කීර්තිමත්ම දුෂ්ට නලුවා වීමේ අවස්ථාව අම්රිෂ් පූරිට හිමි විය. අම්රිෂ් පූරිට අපූරු පටබැදි නාමය නාමයක් ද විය. එය "මොගැම්බෝ (Mogambo)" යන්න ය. 1987 දී තිරගත වූ Mr. India චිත්‍රපටයේ ඔහු විසින් රගපෑ "මොගැම්බෝ" නම් ජාත්‍යන්තර දුෂ්ට චරිතයේ තිබූ සාර්ථකත්වය නිසා ඔහුට එම නම පටබැදුණි.

ඉන්දීය සිනමා ප්‍රේක්ෂකාගාරය තුල‍ මෙන්ම ශ්‍රි ලංකා සිනමා ප්‍රේක්ෂකාගාරය තුල ද අම්රිෂ් පූරී ට මිනිසුන්ගේ අප්‍රසාදයක් හිමි වූවා නම් එය වූයේ දුෂ්ට චරිත රංගනයේ දී ඔහු දැක්වූ අසහාය ප්‍රතිභාව නිසාය. සැබවින්ම අම්රිෂ් පූරි යනු පුරාවෘතයකි. අම්රිෂ් පූරිගෙන් පසු ඔහුගේ තැන ගැනීමට මේ වන තෙක්ම කිසිදු නලුවෙකුට අවස්ථාව හිමිනොවී ඇතිවාක් මෙන්ම තව බොහෝ කලකට එම ස්ථානයට කවුරුන් හෝ නලුවෙකු ළගා නොවනු ඇත. මෙම විශිෂ්ට නලුවා 2005 ජනවාරි මස 12 දින මුම්බායි හි දී තම ජීවිත ගමන අවසන් කලේ ය.

අවසාන වශයෙන් කිව යුත්තේ ඉන්දීය සිනමාවේ විශිෂ්ඨතම නලුවන්ගේ ලැයිස්තුව අම්රිෂ් පූරි නොමැතිව කිසිවිටෙක සම්පූර්ණ නොවේ යන්න ය.

(අන්තර්ජාලය ඇසුරෙනි)

Wednesday, August 8, 2012

ආයෙමත් ඔවුහු ඔවුන්ගේ ලැජ්ජාවක් නැතිකම සහ තමන්ගේ පහත්භාවය පෙන්නුවෝ ය.

රූපය - 1
බොහෝ වැඩ අතරතුර වුව ද මෙම බ්ලොග් පෝස්ට් එක ලිවීමට අදහස් කරන ලද්දේ, ලංකාවේ රූපවාහිනී නාලිකාවක් විසින් අද දින ප්‍රචාරය කරන ලද පුවතක් මගින් ශ්‍රි ලංකාවේ රූපවාහිනී පුවත් ප්‍රචාරය  කරන ආකාරය පිළිබදව මා තුල තිබූ අප්පිරියාව තීව්‍ර කිරීමට සමත් වූ නිසාය. ඒ නාලිකාව කවුරුත් හදුනන ජාතියේ අභිමානය ලෙස ඔවුන්ම කිසිදු හිරිකිතයක් නොමැතිව කියාගනු ලබන ස්වර්ණවාහිනි නාලිකාවය. මීට කලකට පෙර ලයිව් ඇට් එයිට් යනු ශ්‍රී ලංකාවේ රූපවාහිනී පුවත් තුල යම් වෙනසක් ඇති කරන ලද සංධිස්ථානයක් විය. ලයිව් ඇට් එයිට් ආරම්භ කරන ලද කාලයේ මා පාසැල් සිසුවෙකුව සිටි නිසා එහි ආරම්භක අවධිය පිළිබද එතරම් විග්‍රහක් කල නොහැකි වූවද, ඒ කාලයේ ගමේ බොහෝ දෙනා රාත්‍රි 8 පුවත් නැරඹීම සදහා ස්වර්ණවාහිනී නාලිකාව වටා රොක් වූ බව මතකය. ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට් යනු, එකල අනෙකුත් නාලිකාවන්හි තිබූ ‍ඒකාකාරී පුවත් රටාවෙන් මිදුණු පුවත් කාලයක් වීම එයට හේතුව වන්නට ඇත.

කෙසේ නමුත් මීට වසර කීපයකට පමණ පෙර සිට ස්වර්ණවාහිනී නාලිකාව තමන් වටා පුවත් නැරඹීමට රොක්වන පිරිස ඇද බැද තබා ගැනීම සදහා,  පුවත් ප්‍රචාරය කිරීමේ දී ආරක්ෂාකල යුතු ප්‍රමිතීන් පවා නොසලකමින් විවිධ පුවත් ප්‍රචාරය කරන බව මා නිරීක්ෂණය කර ඇත්තෙමි. ඒ හරහා ස්වර්ණවාහිනී පුවත් පිළිබද මා තුල හිරිකිතයක් ඇති විය. 

පුවත් යනු පුවත් මිසක් කතා නොවේ. මා විශ්වාස කරන ලෙස පුවතක් යනු කිසියම් තොරතුරක් පමණි. එය වාර්තා කලයුතු වනුයේ එක සිද්ධියක් පමණක් ලෙස සලකාය. එනම් සිද්ධියක් පුවතක් ලෙස වාර්තා කිරීමේ දී මාධ්‍යකට යම් වගකීමක් තිබේ. යම් මාධ්‍යක් විසින් කලයුතු වනුයේ අදාල සිද්ධිය බැදුණු ප්‍රධාන තොරතුර වාර්තා කිරීම පමණි. එම සිද්ධිය වට බැදුණු සිද්ධි සමුදාය විස්තර කරමින් සහ එය නලු නිලියන් යොදා රගදක්වමින් අදාල සිදුවීම පිළිබද අර්ථනිරූපණය කිරීමේ කාර්යයන් කිරීම පුවත් ප්‍රචාරය කරන මාධය ආයතනයක කාර්යයන් නොවේ.

උදාහරණයක් ලෙස යම් අපරාධයක් වාර්තා කිරීමේ දී අපරාධය සිදු වූ ආකාරය නලු නිලියන් යොදාගෙන රග දක්වමින්, අපරාධය සිදු වූ ආකාරය පියවරින් පියවර විස්තර කරමින්, එම අපරාධයට ලක්වූ අයගේ හැගීම් දැනීම් අනවශ්‍ය ආක‍රයෙන් මතුකර පෙන්වමින් සහ අපරාධය කරන ලද බවට සැකකරන පුද්ගලයන් අපරාධකරුවන් ලෙස පූර්ව විනිශ්චය කරමින් කටයුතු කිරීම මාධ්‍ය ආයතනයක් විසින් සිදු කල යුතු දෑ නොවේ.

එහෙත් ඉහත සදහන් කරන ලද මාධ්‍ය ආයතනය තුල ප්‍රචාරය වන පුවත් තුල ඉහත කී ආකාරයේ කිසිම ප්‍රමිතියක් නොමැති බව පැහැදිලිය. සැබවින්ම ලයිව් ඇට් එයිට් යනු පුවත් නොව පුවත් කතා ය. නමුත් පුවතක් කතාවක් විය යුතු නැත. කතාකාරයන්ගෙන් ඕනෑතරම් කතා අපට ඇසිය හැකිය. ඒ සදහා ඕනෑතරම් කතාකාරයන් ද අපට සිටී. පුවත් නිවේදකයින්ගෙන් කතා ඇසීමට අපට අවශ්‍යතාවයක් නැත. ඔවුන්ගෙන් ඇසීමට අවශ්‍ය පුවත්ය. නමුත් ඉහත කී නාලිකාවට පුවත් නිවේදකයින්  නැත, ඇත්තේ කතා කාරයන් ය.

රූපවාහිනී නාලිකාවක් යනු ප්‍රසිද්ධ අවකාශයකි. එනිසා එහි ප්‍රචාරය වන යම් දෙයකින් සිදුවන සමාජ බලපෑම වැඩිය. ඉහත කී නාලිකාව විසින් මීට කලකට ඉහත දී “දවසේ වැරැද්ද” යනුවෙන් විකාශය වූ පුවත් වලදී පාරේ තොටේ යම් යම් වැරදි කරන පුද්ගලයන්ගේ රුව ප්‍රසිද්ධියේ පෙන්වන ලදි. නමුත් ඔවුන්ට ඒ හරහා සිදු වන සමාජ බලපෑම කුමක් වුව ද , එය පිළිබද මෙම නාලිකාවේ උන්දැලාට ගානක් නැත. දහසකුත් තමන‍්ගේ වැරදි ඇතත්, අනුන්ගේ වරදට සිනාසීමට බලා සිටිනා ශ්‍රී ලංකිකයන් තමන්ගේ නාලිකාව වටා රොක් කර ගැනීම සදහා මෙවැනි සිද්ධි ඉහත නාලිකාව විසින් ප්‍රචාරය කරන ලද්දේ කිසිදු ලැජ්ජාවකින් තොරවය. නමුත් දවසේ වැරදි හොය හොයා ගිය ස්වර්ණවාහිනී වෑන් එක කරන වැරදි නම් “දවසේ වැරැද්ද” ට පෙන්නුවේ නැත.
ඒ ගැන කියවන්න මෙතනින් යන්න. 

මෙම ලිපිය ලිවීමට මාතුල උත්තේජයක් ඇති කල සිද්ධිය ද මා මෙහිදී සදහන් කල යුතුය.

අද (2011-08-08) දින පොලොන්නරුවේ වැවක සොරොව්වක හිරවූ කුණු ඉවත් කිරීමට සොරොව්වට පැන්න පුද්ගලයෙකු ගැන වාර්තාවක් මෙම නාලිකාවේ පුවත් වල යනු අහම්බෙන් දුටුවෙමි. එහි දැක්වූ ලෙසට මෙම පුද්ගලයාව ගොඩ ගැනීමට දෙදෙනෙකු සොරොව්වට පැන උත්සාහ කල ද ඔහු ගොඩට ආවේ නැත. ඇද සිටි ඇදුම ඉවත් වී යාම නිසා මෙම පුද්ගලයා එසේ ගොඩට ඒම ප්‍රතික්ෂේප කර ඇත. නමුත් කඹයක් දා එම පුද්ගලයාව නිරුවතින් ගොඩට ගන්නා ආකාරය මනුශ්‍යත්වයේ චර්යා ප්‍රමිතීන් උල්ලංඝසය කරමින්, මෙම නාලිකාව විසින් කිසිදු හිරිකිතයක් නැතිව ප්‍රචාරය කරන ලදි. එම පුද්ගලයාගේ අනන්‍යතාවය මෙම නාලිකාව විසින් මුල රටටම පෙන්නුවේය. ඒ හරහා එම පුද්ගලයාට සිදුවන සමාජ බලපෑම ගැන ඔවුන් සිතිය යුතුව තිබුණි. මානසිකව ඔහුට ඇතිවන තත්වය පිළිබදව සිතිය යුතුව තිබුණි. තවමත් ග්‍රාමීය ජන සමාජයක් වූ ශ්‍රී ලාංකීය සමාජය තුල ඔහුට මුහුණ දීමට සිදුවන තත්වය පිළබදව කල්පනා කල යුතුව තිබුණි. මාධ්‍යක් යනු වගකිව යුතු ආයතනයක් බැවින්, එම පුවත ප්‍රචාරය කල යුතුව තිබුණා නම්, එය කල යුතුව තිබුණේ එම නාලිකාව කරන ලද ආකාරයට නොවේ. පුවත් නිවේදනය කරන ලද නිවේදකයා ද එය කියනු ලැබූයේ රහ කර කර ය. එය සැබවින් ම මනුශ්‍යත්වයට ද අ‍ ‍‍ෛගෟරවයකි. සරලවම එය නින්දිතය. තුච්ච ය. අසික්කිත ය. පහත් ය. එයින් ආයෙමත් ඔවුහු ඔවුන්ගේ ලැජ්ජාවක් නැතිකම සහ තමන්ගේ පහත්භාවය පෙන්නුවෝ ය.

දුක යන්න හොදට මාකට් කරන්න පුලුවන් දෙයකි. මෙම නාලිකාව සහ ඔවුනගේ සහෝදර ගුවන් විදුලි නාලිකාව විසින් මිනිසුන්ගේ ‍දුක කදුල මාකට් කරන අන්දම ගැන රුහුණ වෛද්‍ය පීඨයේ තෙවන ඇස අධ්‍යයන කවය මගින් පවත්වාගෙන යනු ලබන නිල බ්ලොග් අඩවියේ ලිපියක් පසුගිය දිනෙක කියෙව්වෙමි. එය කියවන්න මෙතනින් යන්න.

සිරස නාලිකාවේ News First එහෙම් පිටින්ම කොපි කරල News වලින් Fist උන ස්වර්ණවාහිනී එකට මොන මාධ්‍ය සදාචාරද කියලත් හිතෙනවා මේව ලිව්වට.

සිරස පුවත් ලාංචනය සහ ස්වර්ණවාහිනී පුවත් ලාංචනය
ඒත් මේ වෙලාවෙම ස්වර්ණවාහිනියේ ලයිව් ඇට් එයිට් (Live@8) කොපි කරල සිරස ලයිව් ඇට් ෆිෆ්ටි ෆයිව් (Live@55) කරපු එකත් මතක් කරන්නම ඕන. බලනකොට කවුරුත් එකයි නේද?

වැදගත්:මෙම ලිපිය ලියන ලද්දේ මෙම කිසිදු පුවත් විකාශයට අවශ්‍ය හෝ අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දීමේ අරමුණින් නොවේ. මෙහි අඩංගුව ඇත්තේ මාගේ පුද්ගලික අදහස් පමණි. මෙය ප්‍රචාරක උපක්‍රමයක් ද නොවේ. එසේ ලිවීමට හේතු වනුයේ මෙවැනි ආකාර ප්‍රචාරන විධි ද මේ වන විට භාවිතයේ ඇති යයි මා විශ්වාස කරන බැවිනි.

රූපය - 1 : ස්වර්ණවාහිනී වෙබ් අඩවියෙන් ගෙන සංස්කරණය කරන ලද්දකි.

නීරස මෙම ලිපිය කියෙව්වා නම් ඔබට බොහෝ ස්තූතියි.‍ ජය වේවා!