Wednesday, August 8, 2012

ආයෙමත් ඔවුහු ඔවුන්ගේ ලැජ්ජාවක් නැතිකම සහ තමන්ගේ පහත්භාවය පෙන්නුවෝ ය.

රූපය - 1
බොහෝ වැඩ අතරතුර වුව ද මෙම බ්ලොග් පෝස්ට් එක ලිවීමට අදහස් කරන ලද්දේ, ලංකාවේ රූපවාහිනී නාලිකාවක් විසින් අද දින ප්‍රචාරය කරන ලද පුවතක් මගින් ශ්‍රි ලංකාවේ රූපවාහිනී පුවත් ප්‍රචාරය  කරන ආකාරය පිළිබදව මා තුල තිබූ අප්පිරියාව තීව්‍ර කිරීමට සමත් වූ නිසාය. ඒ නාලිකාව කවුරුත් හදුනන ජාතියේ අභිමානය ලෙස ඔවුන්ම කිසිදු හිරිකිතයක් නොමැතිව කියාගනු ලබන ස්වර්ණවාහිනි නාලිකාවය. මීට කලකට පෙර ලයිව් ඇට් එයිට් යනු ශ්‍රී ලංකාවේ රූපවාහිනී පුවත් තුල යම් වෙනසක් ඇති කරන ලද සංධිස්ථානයක් විය. ලයිව් ඇට් එයිට් ආරම්භ කරන ලද කාලයේ මා පාසැල් සිසුවෙකුව සිටි නිසා එහි ආරම්භක අවධිය පිළිබද එතරම් විග්‍රහක් කල නොහැකි වූවද, ඒ කාලයේ ගමේ බොහෝ දෙනා රාත්‍රි 8 පුවත් නැරඹීම සදහා ස්වර්ණවාහිනී නාලිකාව වටා රොක් වූ බව මතකය. ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට් යනු, එකල අනෙකුත් නාලිකාවන්හි තිබූ ‍ඒකාකාරී පුවත් රටාවෙන් මිදුණු පුවත් කාලයක් වීම එයට හේතුව වන්නට ඇත.

කෙසේ නමුත් මීට වසර කීපයකට පමණ පෙර සිට ස්වර්ණවාහිනී නාලිකාව තමන් වටා පුවත් නැරඹීමට රොක්වන පිරිස ඇද බැද තබා ගැනීම සදහා,  පුවත් ප්‍රචාරය කිරීමේ දී ආරක්ෂාකල යුතු ප්‍රමිතීන් පවා නොසලකමින් විවිධ පුවත් ප්‍රචාරය කරන බව මා නිරීක්ෂණය කර ඇත්තෙමි. ඒ හරහා ස්වර්ණවාහිනී පුවත් පිළිබද මා තුල හිරිකිතයක් ඇති විය. 

පුවත් යනු පුවත් මිසක් කතා නොවේ. මා විශ්වාස කරන ලෙස පුවතක් යනු කිසියම් තොරතුරක් පමණි. එය වාර්තා කලයුතු වනුයේ එක සිද්ධියක් පමණක් ලෙස සලකාය. එනම් සිද්ධියක් පුවතක් ලෙස වාර්තා කිරීමේ දී මාධ්‍යකට යම් වගකීමක් තිබේ. යම් මාධ්‍යක් විසින් කලයුතු වනුයේ අදාල සිද්ධිය බැදුණු ප්‍රධාන තොරතුර වාර්තා කිරීම පමණි. එම සිද්ධිය වට බැදුණු සිද්ධි සමුදාය විස්තර කරමින් සහ එය නලු නිලියන් යොදා රගදක්වමින් අදාල සිදුවීම පිළිබද අර්ථනිරූපණය කිරීමේ කාර්යයන් කිරීම පුවත් ප්‍රචාරය කරන මාධය ආයතනයක කාර්යයන් නොවේ.

උදාහරණයක් ලෙස යම් අපරාධයක් වාර්තා කිරීමේ දී අපරාධය සිදු වූ ආකාරය නලු නිලියන් යොදාගෙන රග දක්වමින්, අපරාධය සිදු වූ ආකාරය පියවරින් පියවර විස්තර කරමින්, එම අපරාධයට ලක්වූ අයගේ හැගීම් දැනීම් අනවශ්‍ය ආක‍රයෙන් මතුකර පෙන්වමින් සහ අපරාධය කරන ලද බවට සැකකරන පුද්ගලයන් අපරාධකරුවන් ලෙස පූර්ව විනිශ්චය කරමින් කටයුතු කිරීම මාධ්‍ය ආයතනයක් විසින් සිදු කල යුතු දෑ නොවේ.

එහෙත් ඉහත සදහන් කරන ලද මාධ්‍ය ආයතනය තුල ප්‍රචාරය වන පුවත් තුල ඉහත කී ආකාරයේ කිසිම ප්‍රමිතියක් නොමැති බව පැහැදිලිය. සැබවින්ම ලයිව් ඇට් එයිට් යනු පුවත් නොව පුවත් කතා ය. නමුත් පුවතක් කතාවක් විය යුතු නැත. කතාකාරයන්ගෙන් ඕනෑතරම් කතා අපට ඇසිය හැකිය. ඒ සදහා ඕනෑතරම් කතාකාරයන් ද අපට සිටී. පුවත් නිවේදකයින්ගෙන් කතා ඇසීමට අපට අවශ්‍යතාවයක් නැත. ඔවුන්ගෙන් ඇසීමට අවශ්‍ය පුවත්ය. නමුත් ඉහත කී නාලිකාවට පුවත් නිවේදකයින්  නැත, ඇත්තේ කතා කාරයන් ය.

රූපවාහිනී නාලිකාවක් යනු ප්‍රසිද්ධ අවකාශයකි. එනිසා එහි ප්‍රචාරය වන යම් දෙයකින් සිදුවන සමාජ බලපෑම වැඩිය. ඉහත කී නාලිකාව විසින් මීට කලකට ඉහත දී “දවසේ වැරැද්ද” යනුවෙන් විකාශය වූ පුවත් වලදී පාරේ තොටේ යම් යම් වැරදි කරන පුද්ගලයන්ගේ රුව ප්‍රසිද්ධියේ පෙන්වන ලදි. නමුත් ඔවුන්ට ඒ හරහා සිදු වන සමාජ බලපෑම කුමක් වුව ද , එය පිළිබද මෙම නාලිකාවේ උන්දැලාට ගානක් නැත. දහසකුත් තමන‍්ගේ වැරදි ඇතත්, අනුන්ගේ වරදට සිනාසීමට බලා සිටිනා ශ්‍රී ලංකිකයන් තමන්ගේ නාලිකාව වටා රොක් කර ගැනීම සදහා මෙවැනි සිද්ධි ඉහත නාලිකාව විසින් ප්‍රචාරය කරන ලද්දේ කිසිදු ලැජ්ජාවකින් තොරවය. නමුත් දවසේ වැරදි හොය හොයා ගිය ස්වර්ණවාහිනී වෑන් එක කරන වැරදි නම් “දවසේ වැරැද්ද” ට පෙන්නුවේ නැත.
ඒ ගැන කියවන්න මෙතනින් යන්න. 

මෙම ලිපිය ලිවීමට මාතුල උත්තේජයක් ඇති කල සිද්ධිය ද මා මෙහිදී සදහන් කල යුතුය.

අද (2011-08-08) දින පොලොන්නරුවේ වැවක සොරොව්වක හිරවූ කුණු ඉවත් කිරීමට සොරොව්වට පැන්න පුද්ගලයෙකු ගැන වාර්තාවක් මෙම නාලිකාවේ පුවත් වල යනු අහම්බෙන් දුටුවෙමි. එහි දැක්වූ ලෙසට මෙම පුද්ගලයාව ගොඩ ගැනීමට දෙදෙනෙකු සොරොව්වට පැන උත්සාහ කල ද ඔහු ගොඩට ආවේ නැත. ඇද සිටි ඇදුම ඉවත් වී යාම නිසා මෙම පුද්ගලයා එසේ ගොඩට ඒම ප්‍රතික්ෂේප කර ඇත. නමුත් කඹයක් දා එම පුද්ගලයාව නිරුවතින් ගොඩට ගන්නා ආකාරය මනුශ්‍යත්වයේ චර්යා ප්‍රමිතීන් උල්ලංඝසය කරමින්, මෙම නාලිකාව විසින් කිසිදු හිරිකිතයක් නැතිව ප්‍රචාරය කරන ලදි. එම පුද්ගලයාගේ අනන්‍යතාවය මෙම නාලිකාව විසින් මුල රටටම පෙන්නුවේය. ඒ හරහා එම පුද්ගලයාට සිදුවන සමාජ බලපෑම ගැන ඔවුන් සිතිය යුතුව තිබුණි. මානසිකව ඔහුට ඇතිවන තත්වය පිළිබදව සිතිය යුතුව තිබුණි. තවමත් ග්‍රාමීය ජන සමාජයක් වූ ශ්‍රී ලාංකීය සමාජය තුල ඔහුට මුහුණ දීමට සිදුවන තත්වය පිළබදව කල්පනා කල යුතුව තිබුණි. මාධ්‍යක් යනු වගකිව යුතු ආයතනයක් බැවින්, එම පුවත ප්‍රචාරය කල යුතුව තිබුණා නම්, එය කල යුතුව තිබුණේ එම නාලිකාව කරන ලද ආකාරයට නොවේ. පුවත් නිවේදනය කරන ලද නිවේදකයා ද එය කියනු ලැබූයේ රහ කර කර ය. එය සැබවින් ම මනුශ්‍යත්වයට ද අ‍ ‍‍ෛගෟරවයකි. සරලවම එය නින්දිතය. තුච්ච ය. අසික්කිත ය. පහත් ය. එයින් ආයෙමත් ඔවුහු ඔවුන්ගේ ලැජ්ජාවක් නැතිකම සහ තමන්ගේ පහත්භාවය පෙන්නුවෝ ය.

දුක යන්න හොදට මාකට් කරන්න පුලුවන් දෙයකි. මෙම නාලිකාව සහ ඔවුනගේ සහෝදර ගුවන් විදුලි නාලිකාව විසින් මිනිසුන්ගේ ‍දුක කදුල මාකට් කරන අන්දම ගැන රුහුණ වෛද්‍ය පීඨයේ තෙවන ඇස අධ්‍යයන කවය මගින් පවත්වාගෙන යනු ලබන නිල බ්ලොග් අඩවියේ ලිපියක් පසුගිය දිනෙක කියෙව්වෙමි. එය කියවන්න මෙතනින් යන්න.

සිරස නාලිකාවේ News First එහෙම් පිටින්ම කොපි කරල News වලින් Fist උන ස්වර්ණවාහිනී එකට මොන මාධ්‍ය සදාචාරද කියලත් හිතෙනවා මේව ලිව්වට.

සිරස පුවත් ලාංචනය සහ ස්වර්ණවාහිනී පුවත් ලාංචනය
ඒත් මේ වෙලාවෙම ස්වර්ණවාහිනියේ ලයිව් ඇට් එයිට් (Live@8) කොපි කරල සිරස ලයිව් ඇට් ෆිෆ්ටි ෆයිව් (Live@55) කරපු එකත් මතක් කරන්නම ඕන. බලනකොට කවුරුත් එකයි නේද?

වැදගත්:මෙම ලිපිය ලියන ලද්දේ මෙම කිසිදු පුවත් විකාශයට අවශ්‍ය හෝ අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දීමේ අරමුණින් නොවේ. මෙහි අඩංගුව ඇත්තේ මාගේ පුද්ගලික අදහස් පමණි. මෙය ප්‍රචාරක උපක්‍රමයක් ද නොවේ. එසේ ලිවීමට හේතු වනුයේ මෙවැනි ආකාර ප්‍රචාරන විධි ද මේ වන විට භාවිතයේ ඇති යයි මා විශ්වාස කරන බැවිනි.

රූපය - 1 : ස්වර්ණවාහිනී වෙබ් අඩවියෙන් ගෙන සංස්කරණය කරන ලද්දකි.

නීරස මෙම ලිපිය කියෙව්වා නම් ඔබට බොහෝ ස්තූතියි.‍ ජය වේවා!


18 comments:

  1. හිත රිදවා ගන්න එපා. ඕවා ඔහොම තමයි.

    ReplyDelete
  2. ඇත්ත තමයි, මම නම් ඔය ටී.වී එකෙයන කිසිම චැනල් එකක ප්‍රවෘතියක් බලන්නේ නැහැ, අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි. ලංකාවේ කිසිම නාලිකාවක ප්‍රවෘත්ති කියන ඒවා නැහැනෙ. නේ... ජය‍ වේවා!

      Delete
  3. නයි ටි න් එකෙ ගිය විමසුම වගේ හිරිකිත වැඩසටහන් ගැනනම් තව අනුකම්පා ක‍රන්න පුලුවන් වයසට ගිය හාල්පාරුවො මොකුත් ක‍රගන්න බැරුව අස‍්රන කමට ක‍්රන ඒව කියල ඒත් මේ පච වාහිණියෙ ඉන්නෙ ඔක්කොම තරුණ කොල්ලො කෙල්ලො මුන් ක‍්රන දේවල් දැක්කම තරුණ කමටත් ලැජ්ජයි.
    අපි සිරසට බැන්නට ලංකාවෙ සංස්කෘතිය විනාස ක‍රනව කියල හැබැයි උන් මේ ත‍්රම් පහත් විදියට හැසිරුනේ නැහැ, දැන්නම් උනුත් ටික ටික මළගෙවල් විකුනන්න පටන් අරගෙන.

    ReplyDelete
    Replies
    1. අනිවා බ්‍රදර්. ජය වේවා!

      Delete
  4. ඇනිමල් ප්ලැනට් හරි ඩිස්කවරි හරි බලන්න...ඔය චැනල් බැලුවම ලේ කෝප වෙනවා....

    ReplyDelete
    Replies
    1. 100% agreed! I am also doing the same! And add discovery science, NHK world also to the list!

      Delete
  5. ඇත්ත බං! ජරාම නිවුස් කියන්නෙ මොණරවාහිනියෙ තමයි!

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකීය අභිමානය තමයි ඒ. ජය වේවා!

      Delete
  6. සහතික ඇත්ත කතාව ,දැන්නම් මේකේ මල ගෙවල් විකුණන එක බලන්න අප්පිරියයි .
    මම මේ ලිපිය තව තැනක දානවා, ,ගතිපු තැනත් දාලා

    ReplyDelete
  7. මාත් රටේ වෙන දේවල් දැනගන්න ඕන නිසා විතරක් පුවත් බලනවා ඒ ඇරෙන්න ඔකුන්ගේ වල්පල් වලට අවධානයක් දෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒත් මත්‍රයා රටේ වෙන දේවල් පෙන්නන විදිය තමා හරි නැත්තේ. ජය වේවා!

      Delete
  8. අනේ වාසනාවන් මගේ බිරින්දෑ. ඈට රූප පෙට්ටිය අප්පිරිය උනා. මම ඒක අයින් කලා. දැන් අපි හරි නිදහස් හැමදාම රෑට නින්දට යනකන් දරුවොත් එක්ක සතුටෙන් ඉන්නව(උන්ට දවාලට වෙලාව නෑ). නැත්නං මේ තියෙන ලේ ඩිංගත් පිච්චිලාම ඉවර වෙනවා.

    ReplyDelete
  9. නියමයි නියමයි සහෝ. ජය වේවා!

    ReplyDelete
  10. සිරස නෙමයි බන් ස්වර්ණ වාහිනිය කොපි කළේ. ස්වර්ණ වාහිනිය තමයි සිරසව කොපි කළේ.........

    ReplyDelete