Showing posts with label සිංහල. Show all posts
Showing posts with label සිංහල. Show all posts

Friday, December 21, 2012

2012 දෙසැම්බර් 21

කලින් බ්ලොග් පෝස්ට් එක ලියල මාස 4 ක් වෙනවා. අද දවස විශේෂ දවසක් නිසා වැඩ ගොඩක් මැද උනත් බ්ලෝග් එකේ මොනව හරි ලියල යන්න හිතුනා. ඒ මොකද, අනාගතේ දවසක අනිවාර්යෙන් අද දවස (2012-12-21) ගැන කතා කරයි. ඒ කියන්නේ අද දවසේ ලෝක විනාශයක් වෙනව කියල මේ ලෝකෙ සමහර අය බලාගෙන හිටිය කියල අනාගතයේ දවසක කියයි.

මේ දවස එන්න කලින් ගොඩක් දෙනා ගොඩක් දේවල් මේ දවසේ සිද්ධ වෙයි කියල කිව්වා. කට්ටියක් ලෝක විනාසේ වෙයි කියල කියන කොට, තවත් කට්ටියක් කිව්වා අද දවසින් ලෝකේ අලුත් යුගයක් පටන් ගන්නව කියල. ඒ අස්සේ ලංකාවේ ගොඩක් දෙනෙක් රාවණා රජු නිදා ඉන්න නින්දෙන් නැගිටින දවස අද කියලත් කිව්වා. ඒ මොනවත් නම් උනේ නැහැ. ඒත්  අද දවසේ කොළඹ සමහර තැන්වල වෙනදට වඩා සෙනග නම් අඩුයි කියල දැනුනා. තවත් කට්ටියක් ‍ලෝක විනාසෙට කලින් නිවාඩු දාල කොළඹ ඉදන් ගමේ ගිහිල්ල කියල මාධ්‍යයේ කියනවත් ඇහුණා.

ඒත් ඒ කියපු හිතපු දේවල් නම් උනේ නැහැ. වෙනද වගේම දවස ගෙවිල ගියා. ලොකු දෙයක් නැහැ. නිකමට කිව්වේ. අද දවසේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්න හිතුන නිසා සහ අධික කාර්යබහුලත්වය නිසා කාලෙකින් මුකුත්ම ලිව්වේ නැති නිසා ලිව්වේ. එහෙනම් ජය වේවා!

Monday, August 20, 2012

ඉන්දීය සිනමාවේ කීර්තිමත් ම දුෂ්ටයා වූ අසහාය නලුවා - අම්රිෂ් පූරි

අම්රිෂ් පූරී මොගැම්බෝ ලෙස
දවසක් කියවපු බ්ලොග් පෝස්ට් එකක තිබුන දෙයක් තමයි, කුඩා දරුවගේ පටන් තරුණ දරුවා දක්වා පෙන්නන්න බැරි ඉන්දියානුවා කවුද කියල. ඒ ඇත්තටම වෙන කවුරුත් නෙමෙයි,  ඉන්දීය සිනමාවේ සුප්‍රසිද්ධම දුෂ්ටයා වූ අම්රිෂ් පූරි. අපි පොඩි කාලේ බලපු ගොඩක් හින්දි චිත්‍රපටිවල හිටපු දුෂ්ඨයා කවුද කියල  කාටත් මතක ඇති නේද? ඒ තමයි අම්රිෂ් පූරි.

ඉන්දීය සිනමාවේ එතෙක් මෙතෙක් බිහි වුණු අසහාය දුෂ්ඨ චරිත රගපාපු අම්රිෂ් පූරි මහතගේ සම්පූර්ණ නම වෙන්නේ අම්රිෂ් සිංග් පූරි (Amrish Singh Puri) ය. සර්දාර් නිහාල් සිංග් පූරි( Sardar Nihal Singh Puri) සහ සර්දානි වෙඩ් කාර් (Sardarni Ved Kaur) ට දාව ඉපදුණු අම්රිෂ් පූරි, දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වැනියා වේ. ඉන්දියාවේ ජලන්දාර් දිස්ත්‍රික්කයේ නවන්ෂාර්( Nawanshahr) හි 1932 ජුනි 22 දින අම්රිෂ් පූරි උපත ලබයි. ඉන්දියාවේ ශිම්ලා හි B.M.Collage හි දී තම උපාධිය හදාරන පූරි, නලුවෙකු වීම සදහා මුම්බායි වෙත එනුයේ, නලුවන් වූ චමන් පූරි(Chaman Puri) සහ මදාන් පූරි(Madan Puri) වන තම සහෝදරයන් ගිය මග ගැනීමට ය.

අම්රිෂ් පූරිගේ මුල් බලාපොරොත්තුව වූයේ සිනමා වීරයෙකු වීමට ය. ඉන්දියාවේ සිනමාවේ වීරයෙකු වීමේ අරමුණ ඇතිව පැමිණි අම්රිෂ් පූරි මුල්වරට මුහුණ දෙන තිර පරීක්ෂණය (Screen Test) අසමත් වේ. එයින් පසු ඔහු රක්ෂණ සමාගමක රැකියාවක් සොයා ගනී. රැකියාව කරන අතරතුර අම්රිෂ් පූරි Prithvi Theatre නම් ඉන්දියාවේ විශිෂ්ඨ නෘත්‍ය ශාලාවේ දී වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වේ. වේදිකා නාට්‍ය රගපාන අතර 1979 දී සන්ගීත් නාටක් සම්මානය (Sangeet Natak Akademi Award) දිනා ගැනීමට අම්රිෂ් පූරි සමත් වේ. මෙම සම්මානය ලැබීමත් සමග අම්රිෂ් පූරි ඉන්දීය රූපවාහිනිය තුල ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වේ. වෙළද දැන්වීම් විශාල ප්‍රමාණයක අම්රිෂ් පූරි පෙනී සිටී. එසේම තම මුල් කාලීන සිහිනය වූ සිනමා නලුවෙකු වීමේ අවස්තාව ඒ අනුව අම්රිෂ් පූරි ට උදා වේ. ඒ වන විට අම්රිෂ් පූරිගේ වයස අවුරුදු 40 ක් වේ.

අම්රිෂ් පූරි රගපාන ප්‍රථම චිත්‍රපටය වනුයේ ප්‍රේම් පුජාරී (Prem Pujari ) ය . ඒ 1971 දී ය. එසේ තම සිනමා දිවිය ආරම්භ කරන අම්රිෂ් පූරි ලෝකයේ බොහෝ සිනමාවන් හි තම දක්ෂතාවය පෙන්වා තිබේ. බොහෝ විට දුෂ්ටයාගේ චරිතය රග දක්වන පූරි එසේ නොවන චරිත රගපෑ අවස්ථාවන් ද ඇත. හින්දි, කන්නඩ, මරාති, පන්ජාබ්, මලයාලම් , තෙලිගු සහ දෙමළ චිත්‍රපටි වල රගපා ඇති අම්රිෂ් පූරි බොලිවුඩ් සිනමාවේ ද චිත්‍රපටවලට දායක වී ඇත. සුප්‍රකට බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක ස්ටීවන් ස්පීල්බර්ගේ ඉන්ඩියානා ජෝන්ස් (Indiana Jones and the Temple of Doom.) චිත්‍රපටයේ ද අම්රිෂ් පූරි තම රංගන ප්‍රතිභාව පෙන්වා ඇත.

අම්රිෂ් පූරි යන මහා ඉන්දීය චිත්‍රපට නලුවා වඩාත් ජනප්‍රිය අප්‍රසාදයට පත් වූයේ 1980 න් පසුවය. ඉන්දීය සිනමාවේ අසහාය දුෂ්ටයා වූ අම්රිෂ් පූරි ‍චිත්‍රපට 400 ට වඩා රගපා ඇත. තමන්ගේ රූපය‍ සහ ගොරෝසු කටහඩ නිසා ඉන්දීය සිනමාවේ කීර්තිමත්ම දුෂ්ට නලුවා වීමේ අවස්ථාව අම්රිෂ් පූරිට හිමි විය. අම්රිෂ් පූරිට අපූරු පටබැදි නාමය නාමයක් ද විය. එය "මොගැම්බෝ (Mogambo)" යන්න ය. 1987 දී තිරගත වූ Mr. India චිත්‍රපටයේ ඔහු විසින් රගපෑ "මොගැම්බෝ" නම් ජාත්‍යන්තර දුෂ්ට චරිතයේ තිබූ සාර්ථකත්වය නිසා ඔහුට එම නම පටබැදුණි.

ඉන්දීය සිනමා ප්‍රේක්ෂකාගාරය තුල‍ මෙන්ම ශ්‍රි ලංකා සිනමා ප්‍රේක්ෂකාගාරය තුල ද අම්රිෂ් පූරී ට මිනිසුන්ගේ අප්‍රසාදයක් හිමි වූවා නම් එය වූයේ දුෂ්ට චරිත රංගනයේ දී ඔහු දැක්වූ අසහාය ප්‍රතිභාව නිසාය. සැබවින්ම අම්රිෂ් පූරි යනු පුරාවෘතයකි. අම්රිෂ් පූරිගෙන් පසු ඔහුගේ තැන ගැනීමට මේ වන තෙක්ම කිසිදු නලුවෙකුට අවස්ථාව හිමිනොවී ඇතිවාක් මෙන්ම තව බොහෝ කලකට එම ස්ථානයට කවුරුන් හෝ නලුවෙකු ළගා නොවනු ඇත. මෙම විශිෂ්ට නලුවා 2005 ජනවාරි මස 12 දින මුම්බායි හි දී තම ජීවිත ගමන අවසන් කලේ ය.

අවසාන වශයෙන් කිව යුත්තේ ඉන්දීය සිනමාවේ විශිෂ්ඨතම නලුවන්ගේ ලැයිස්තුව අම්රිෂ් පූරි නොමැතිව කිසිවිටෙක සම්පූර්ණ නොවේ යන්න ය.

(අන්තර්ජාලය ඇසුරෙනි)

Wednesday, August 8, 2012

ආයෙමත් ඔවුහු ඔවුන්ගේ ලැජ්ජාවක් නැතිකම සහ තමන්ගේ පහත්භාවය පෙන්නුවෝ ය.

රූපය - 1
බොහෝ වැඩ අතරතුර වුව ද මෙම බ්ලොග් පෝස්ට් එක ලිවීමට අදහස් කරන ලද්දේ, ලංකාවේ රූපවාහිනී නාලිකාවක් විසින් අද දින ප්‍රචාරය කරන ලද පුවතක් මගින් ශ්‍රි ලංකාවේ රූපවාහිනී පුවත් ප්‍රචාරය  කරන ආකාරය පිළිබදව මා තුල තිබූ අප්පිරියාව තීව්‍ර කිරීමට සමත් වූ නිසාය. ඒ නාලිකාව කවුරුත් හදුනන ජාතියේ අභිමානය ලෙස ඔවුන්ම කිසිදු හිරිකිතයක් නොමැතිව කියාගනු ලබන ස්වර්ණවාහිනි නාලිකාවය. මීට කලකට පෙර ලයිව් ඇට් එයිට් යනු ශ්‍රී ලංකාවේ රූපවාහිනී පුවත් තුල යම් වෙනසක් ඇති කරන ලද සංධිස්ථානයක් විය. ලයිව් ඇට් එයිට් ආරම්භ කරන ලද කාලයේ මා පාසැල් සිසුවෙකුව සිටි නිසා එහි ආරම්භක අවධිය පිළිබද එතරම් විග්‍රහක් කල නොහැකි වූවද, ඒ කාලයේ ගමේ බොහෝ දෙනා රාත්‍රි 8 පුවත් නැරඹීම සදහා ස්වර්ණවාහිනී නාලිකාව වටා රොක් වූ බව මතකය. ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට් යනු, එකල අනෙකුත් නාලිකාවන්හි තිබූ ‍ඒකාකාරී පුවත් රටාවෙන් මිදුණු පුවත් කාලයක් වීම එයට හේතුව වන්නට ඇත.

කෙසේ නමුත් මීට වසර කීපයකට පමණ පෙර සිට ස්වර්ණවාහිනී නාලිකාව තමන් වටා පුවත් නැරඹීමට රොක්වන පිරිස ඇද බැද තබා ගැනීම සදහා,  පුවත් ප්‍රචාරය කිරීමේ දී ආරක්ෂාකල යුතු ප්‍රමිතීන් පවා නොසලකමින් විවිධ පුවත් ප්‍රචාරය කරන බව මා නිරීක්ෂණය කර ඇත්තෙමි. ඒ හරහා ස්වර්ණවාහිනී පුවත් පිළිබද මා තුල හිරිකිතයක් ඇති විය. 

පුවත් යනු පුවත් මිසක් කතා නොවේ. මා විශ්වාස කරන ලෙස පුවතක් යනු කිසියම් තොරතුරක් පමණි. එය වාර්තා කලයුතු වනුයේ එක සිද්ධියක් පමණක් ලෙස සලකාය. එනම් සිද්ධියක් පුවතක් ලෙස වාර්තා කිරීමේ දී මාධ්‍යකට යම් වගකීමක් තිබේ. යම් මාධ්‍යක් විසින් කලයුතු වනුයේ අදාල සිද්ධිය බැදුණු ප්‍රධාන තොරතුර වාර්තා කිරීම පමණි. එම සිද්ධිය වට බැදුණු සිද්ධි සමුදාය විස්තර කරමින් සහ එය නලු නිලියන් යොදා රගදක්වමින් අදාල සිදුවීම පිළිබද අර්ථනිරූපණය කිරීමේ කාර්යයන් කිරීම පුවත් ප්‍රචාරය කරන මාධය ආයතනයක කාර්යයන් නොවේ.

උදාහරණයක් ලෙස යම් අපරාධයක් වාර්තා කිරීමේ දී අපරාධය සිදු වූ ආකාරය නලු නිලියන් යොදාගෙන රග දක්වමින්, අපරාධය සිදු වූ ආකාරය පියවරින් පියවර විස්තර කරමින්, එම අපරාධයට ලක්වූ අයගේ හැගීම් දැනීම් අනවශ්‍ය ආක‍රයෙන් මතුකර පෙන්වමින් සහ අපරාධය කරන ලද බවට සැකකරන පුද්ගලයන් අපරාධකරුවන් ලෙස පූර්ව විනිශ්චය කරමින් කටයුතු කිරීම මාධ්‍ය ආයතනයක් විසින් සිදු කල යුතු දෑ නොවේ.

එහෙත් ඉහත සදහන් කරන ලද මාධ්‍ය ආයතනය තුල ප්‍රචාරය වන පුවත් තුල ඉහත කී ආකාරයේ කිසිම ප්‍රමිතියක් නොමැති බව පැහැදිලිය. සැබවින්ම ලයිව් ඇට් එයිට් යනු පුවත් නොව පුවත් කතා ය. නමුත් පුවතක් කතාවක් විය යුතු නැත. කතාකාරයන්ගෙන් ඕනෑතරම් කතා අපට ඇසිය හැකිය. ඒ සදහා ඕනෑතරම් කතාකාරයන් ද අපට සිටී. පුවත් නිවේදකයින්ගෙන් කතා ඇසීමට අපට අවශ්‍යතාවයක් නැත. ඔවුන්ගෙන් ඇසීමට අවශ්‍ය පුවත්ය. නමුත් ඉහත කී නාලිකාවට පුවත් නිවේදකයින්  නැත, ඇත්තේ කතා කාරයන් ය.

රූපවාහිනී නාලිකාවක් යනු ප්‍රසිද්ධ අවකාශයකි. එනිසා එහි ප්‍රචාරය වන යම් දෙයකින් සිදුවන සමාජ බලපෑම වැඩිය. ඉහත කී නාලිකාව විසින් මීට කලකට ඉහත දී “දවසේ වැරැද්ද” යනුවෙන් විකාශය වූ පුවත් වලදී පාරේ තොටේ යම් යම් වැරදි කරන පුද්ගලයන්ගේ රුව ප්‍රසිද්ධියේ පෙන්වන ලදි. නමුත් ඔවුන්ට ඒ හරහා සිදු වන සමාජ බලපෑම කුමක් වුව ද , එය පිළිබද මෙම නාලිකාවේ උන්දැලාට ගානක් නැත. දහසකුත් තමන‍්ගේ වැරදි ඇතත්, අනුන්ගේ වරදට සිනාසීමට බලා සිටිනා ශ්‍රී ලංකිකයන් තමන්ගේ නාලිකාව වටා රොක් කර ගැනීම සදහා මෙවැනි සිද්ධි ඉහත නාලිකාව විසින් ප්‍රචාරය කරන ලද්දේ කිසිදු ලැජ්ජාවකින් තොරවය. නමුත් දවසේ වැරදි හොය හොයා ගිය ස්වර්ණවාහිනී වෑන් එක කරන වැරදි නම් “දවසේ වැරැද්ද” ට පෙන්නුවේ නැත.
ඒ ගැන කියවන්න මෙතනින් යන්න. 

මෙම ලිපිය ලිවීමට මාතුල උත්තේජයක් ඇති කල සිද්ධිය ද මා මෙහිදී සදහන් කල යුතුය.

අද (2011-08-08) දින පොලොන්නරුවේ වැවක සොරොව්වක හිරවූ කුණු ඉවත් කිරීමට සොරොව්වට පැන්න පුද්ගලයෙකු ගැන වාර්තාවක් මෙම නාලිකාවේ පුවත් වල යනු අහම්බෙන් දුටුවෙමි. එහි දැක්වූ ලෙසට මෙම පුද්ගලයාව ගොඩ ගැනීමට දෙදෙනෙකු සොරොව්වට පැන උත්සාහ කල ද ඔහු ගොඩට ආවේ නැත. ඇද සිටි ඇදුම ඉවත් වී යාම නිසා මෙම පුද්ගලයා එසේ ගොඩට ඒම ප්‍රතික්ෂේප කර ඇත. නමුත් කඹයක් දා එම පුද්ගලයාව නිරුවතින් ගොඩට ගන්නා ආකාරය මනුශ්‍යත්වයේ චර්යා ප්‍රමිතීන් උල්ලංඝසය කරමින්, මෙම නාලිකාව විසින් කිසිදු හිරිකිතයක් නැතිව ප්‍රචාරය කරන ලදි. එම පුද්ගලයාගේ අනන්‍යතාවය මෙම නාලිකාව විසින් මුල රටටම පෙන්නුවේය. ඒ හරහා එම පුද්ගලයාට සිදුවන සමාජ බලපෑම ගැන ඔවුන් සිතිය යුතුව තිබුණි. මානසිකව ඔහුට ඇතිවන තත්වය පිළිබදව සිතිය යුතුව තිබුණි. තවමත් ග්‍රාමීය ජන සමාජයක් වූ ශ්‍රී ලාංකීය සමාජය තුල ඔහුට මුහුණ දීමට සිදුවන තත්වය පිළබදව කල්පනා කල යුතුව තිබුණි. මාධ්‍යක් යනු වගකිව යුතු ආයතනයක් බැවින්, එම පුවත ප්‍රචාරය කල යුතුව තිබුණා නම්, එය කල යුතුව තිබුණේ එම නාලිකාව කරන ලද ආකාරයට නොවේ. පුවත් නිවේදනය කරන ලද නිවේදකයා ද එය කියනු ලැබූයේ රහ කර කර ය. එය සැබවින් ම මනුශ්‍යත්වයට ද අ‍ ‍‍ෛගෟරවයකි. සරලවම එය නින්දිතය. තුච්ච ය. අසික්කිත ය. පහත් ය. එයින් ආයෙමත් ඔවුහු ඔවුන්ගේ ලැජ්ජාවක් නැතිකම සහ තමන්ගේ පහත්භාවය පෙන්නුවෝ ය.

දුක යන්න හොදට මාකට් කරන්න පුලුවන් දෙයකි. මෙම නාලිකාව සහ ඔවුනගේ සහෝදර ගුවන් විදුලි නාලිකාව විසින් මිනිසුන්ගේ ‍දුක කදුල මාකට් කරන අන්දම ගැන රුහුණ වෛද්‍ය පීඨයේ තෙවන ඇස අධ්‍යයන කවය මගින් පවත්වාගෙන යනු ලබන නිල බ්ලොග් අඩවියේ ලිපියක් පසුගිය දිනෙක කියෙව්වෙමි. එය කියවන්න මෙතනින් යන්න.

සිරස නාලිකාවේ News First එහෙම් පිටින්ම කොපි කරල News වලින් Fist උන ස්වර්ණවාහිනී එකට මොන මාධ්‍ය සදාචාරද කියලත් හිතෙනවා මේව ලිව්වට.

සිරස පුවත් ලාංචනය සහ ස්වර්ණවාහිනී පුවත් ලාංචනය
ඒත් මේ වෙලාවෙම ස්වර්ණවාහිනියේ ලයිව් ඇට් එයිට් (Live@8) කොපි කරල සිරස ලයිව් ඇට් ෆිෆ්ටි ෆයිව් (Live@55) කරපු එකත් මතක් කරන්නම ඕන. බලනකොට කවුරුත් එකයි නේද?

වැදගත්:මෙම ලිපිය ලියන ලද්දේ මෙම කිසිදු පුවත් විකාශයට අවශ්‍ය හෝ අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දීමේ අරමුණින් නොවේ. මෙහි අඩංගුව ඇත්තේ මාගේ පුද්ගලික අදහස් පමණි. මෙය ප්‍රචාරක උපක්‍රමයක් ද නොවේ. එසේ ලිවීමට හේතු වනුයේ මෙවැනි ආකාර ප්‍රචාරන විධි ද මේ වන විට භාවිතයේ ඇති යයි මා විශ්වාස කරන බැවිනි.

රූපය - 1 : ස්වර්ණවාහිනී වෙබ් අඩවියෙන් ගෙන සංස්කරණය කරන ලද්දකි.

නීරස මෙම ලිපිය කියෙව්වා නම් ඔබට බොහෝ ස්තූතියි.‍ ජය වේවා!


Monday, July 30, 2012

ඔහු සහ ඔහුගේ පෙම්වතිය

විශේෂ දින සටහන්
දිනය : 2012-07-30 (සදුදා)

ඔහු මාගේ බාල කාලයේ සිට මිත්‍රයෙකි. ඔහුට ඇය හමුවූයේ මීට මාස තුනකට පෙර බව මා දැනගත්තේ අද දිනය. ඔහු ඇයට ද ඇය ඔහුට ද මහත් සේ ආදරයෙන් සිටියේ ය. නමුත් ඔවුනවුන්ගේ ඒ ආදරය ඒ මාස තුනට වඩා ගොඩක් වැඩි බව මා හට දැනිණි. අද ඔහු ද ඇය ද ගුවන්තොටුපල බලා ගියේ මා සමග ය. ඔහු ද ඇයද මා හට සමු දී පිටත්ව ගියේ ය. මද වේලාවකින් ඔහු නැවත පැමිණියේ ය. ඒ තනිවම ය. ඈ ගියේ ය. නමුත් ඔහු ඇයට දුන් මල් පොකුර පමණක් තවමත් රිය තුල ඇත්තේ ය.

Thursday, July 19, 2012

SMS එකක් යවා මොබයිල් ෆෝන් එක ඕ‍‍‍ෆ් කරන්න.

සමහරු මේ ගැන දන්නව ඇති. ඒත් මට හිතුනා මේ දේ කියන්න. මම කාලෙක ඉදන් අහල තිබුණා ෆෝන් එකට එන SMS එකකින් ෆෝන් එක ඕෆ් කරන්න පුලුවන් කියල. අද මට ආව එහෙම SMS එකක්. ඒ ගැන හොයන්න හිතුන නිසා ඒ ගැන හොයල බැලුව. වැඩේ හරි. මට ඒ වගේ SMS එකක් හොයා ගන්න පුලුවන් උනා. ඇත්තටම මේක කරා කියල කිසි තේරුමක් නම් නැහැ. ඒත් හොයාගත්ත නිසා කට කහනව වගේ, මේ ගැන දන්නෙ නැති අයට කියන්න කියල හිතුනා. දන්න අය නම් කොහොමත් දන්නවනේ. ඔන්න එහෙනම් මේකෙදි සිද්ධ වෙන දේ තමයි මේ.

මෙහිදී අපේ මොබයිල් ෆෝන් එකට එන SMS එක කියවන්න Open කරන කොටම ෆෝන් එක ඕෆ් වෙලා ආයෙම ඔන් වෙනවා(Restart). තවත් සමහර SMS  වලින් ‍ඒ SMS එක කියවල පහලට යන්න හදනකොට හරි Edit කරන්න හදනකොට හරි ෆෝන් එක ඔෆ් වෙනවා. ඒත් සමහර ෆෝන් වලට ආපු SMS වලින් නම් ෆෝන් එක ආයෙම ඔන් කරන්නේ නැහැලු (Restart). එහෙම උනාම අයෙම අපිට ෆෝන් එක ඔන් කරන්න වෙන‍වා. මම මේ දේ කියන දේ අහල මේ දේ කරන්න උත්සාහ කරනව නම් ‍රජෝ, ඔයාලගේ ෆෝන් වල වගකීම ඔයාලම ගන්න ඕන හොදේ. ‍

ඇත්තටම මේක හරි සරල  SMS  එකක් යවල කරන්න පුලුවන් දෙයක්. හැබැයි මේ SMS එකෙන් හැම ෆෝන් එකම ඕෆ් කරන්නත් බැහැ. NOKIA 1100,1110,2100,2300,3610,3310,3315,5110 ව‍ගේ ‍ෆෝන් තමයි මේකෙන් ඔෆ් කරන්න පුලුවන් වෙන්නේ.

මම මේ පහල දෙන SMS එකෙන් වෙන්නේ ෆෝන් එකට එන SMS එක කියවන්න Open කරන කොටම හරි ෆෝන් එක ඕෆ් වෙලා ආයෙම ඔන් වෙනවා(Restart). මේ SMS එක මකන්න ඕන නම් ඒක කරන්න පුලුවන් ලේසියෙන්. ඒත් SMS මකන්න නම් සමහර ෆෝන් වල SMS  Open කරන්නම ඕන වෙනවනෙ. එහෙම ෆෝන් එකක් නම් Open නොකර Delete Messages වලින් අදාල SMS එක Mark කරල මකල දාන්න. මොකද කියනව නම් Open කරල මකන්න හදන හැම වෙලාවෙම ‍ෆෝන් එක ඕෆ් වෙනවනෙ. ඒකයි.


මෙන්න SMS එක
( ' ) 79 ක් ටයිප් කරල අදාල ෆෝන් එකට SMS එකක් යවන්න.

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''  
එහෙනම් ජය වේවා!

Wednesday, July 11, 2012

2018 දී විවෘත වන කිලෝමීටරයකට වඩා උස ලෝකයේ උසම ගොඩනැගිල්ල

දැනට ලෝකයේ උසම ගොඩනැගිල්ල වන උසින් අඩි 2717 (828 m) ක් උස  ඩුබායි හි Burj Khalifa ගොඩනැගිල්ලට වඩා අඩි 568 ක් උස ගොඩනැගිලි සංකීර්ණයක් සෞදි අරාබි රාජ්‍යයේ ජෙඩා නගරයේ දී 2018 දී විවෘත වීමට නියමිතය.

Kingdom Tower ලෙස හැදින්වෙන මෙම නිර්මාණය උසින් අඩි 3,280 (1000 + m) ට වඩා උසින් යුක්ත වනු ඇත. එනම් Kingdom Tower පොළවේ සිට ඉහල අහසට කිලෝමීටරයකට වඩා උසින් යුක්ත වනු ඇත. Kingdom Tower ගොඩනැගිලි සංකීර්ණය නිර්මාණය කර අවසන් වූ පසු එහි සම්පූර්ණ අභ්‍යන්තර භූමි ප්‍රමාණය වර්ග අඩි මිලියන 5.1(අක්කර 12.1671) ක් වනු ඇත. එසේම දැනට ඇස්තමේන්තු ගත වියදම ඩොලර් බිලියන 1.5 කි.
‍
ඩුබායි හි Burj Khalifa ගොඩනැගිල්ල සැලසුම් කල AS+GG ආයතනයේ Adrian Smith විසින්ම සැලසුම් කරන Kingdom Tower ගොඩනැගිලි සංකීර්ණය වාසයට සුදුසු තට්ටු 161 කින් යුක්ත වනු ඇත. මෙම තට්ටු 161 තුල නිවාස සංකීර්ණ, හෝටල් සංකීර්ණ, වෙළද සංකීර්ණ සහ සිනමා ශාලා ද ඉදිවනු ඇත. ගොඩනැගිල්ලේ ඉහල පහල යාම සදහා උත්තෝලක (Elevators) 59 ක් ස්ථානගත කිරීමට සැලසුම් කර ඇත. ඉහල සහ පහලට යන දෙපසටම තත්පරයට මීටර 10 ක (තත්පරයට අඩි 40) පුදුම සහගත වේගයකින් ගමන් කිරීමට හැකිවන ආකාරයට මෙම උත්තෝලක සැලසුම් කර ඇත.  මෙයින් උත්තෝලක 54 ක් තනි තට්ටුවේ ඒවා වන අතර උත්තෝලක 5 ක් තට්ටු 2 බැගින් යුක්ත ඒවා වනු ඇත. මෙම  Kingdom Tower ගොඩනැගිල්ලත් සමග සෞදි අරාබියේ ජෙඩා නගරය නව යුගයකට පා තබනු ඇති බව විශ්වාස කෙරේ. 

Kingdom Tower සහ දැනට උසින් වැඩි ගොඩනැගිලි සංකීර්ණ 




වැඩිදුර විස්තර සහ චායාරූප සදහා පිවිසෙන්න CYGY වෙබ් අඩවියට (සේයා රූ උපුටා ගෙන ඇත්තේ එම වෙබ් අඩවියෙනි)

 

Sunday, July 8, 2012

Asus Mother Board පුරාජේරුව

Asus Mother Board තමයි මේ තාක් වැඩිම සම්මාන ප්‍රමාණයක් ගත්ත සහ ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන මව්පුවරු වෙන්නේ (Best Selling and Most Award  Winning Mother Boards). මේවා ඉතිං Asus Mother Board ඇසුරුමේ ම තමයි තියෙන්නේ. ඇත්තමට Asus Mother Board ගැන තියෙන විස්තරය පුදුම සහගතයි. බලමු ඒ ගැන.

Asus සමාගම 1989 දී තමයි පිහිටුවන්නේ. එහෙම පිහිටුවල කෙටි කාලයකින් පරිගනක ‍ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගමක් බවට Asus සමාගම පත්වෙනවා. Asus සමාගම 2009 වන විට Asus Mother Board මිලියන 420 ක් විකුණල තියෙනව ලු. එහෙම විකුණපු Asus Mother Board මිලියන 420 එක පෙළට තිබ්බොත් පෘතුවිය වටේට රවුම් 3 ක් දිගට ඒව තියන්න පුලුවන්ලු. මේ තාක් විකුණපු Asus Mother Board මිලියන 420 එක දිගට ඉහලට තිබ්බොත්, ලෝකයේ උසම කන්ද වන එවරස්ට් කනද වගේ 14,478 ගුණයක් උසට තියන්න පුලුවන් ලු. ඒ වගේම මේ වන විට Asus නිෂ්පාදන සදහා සම්මාන 3886 ක් Asus සමාගම අරගෙනත් තියෙනවලු. ඇත්තටම පුදුමයි නේද? එහෙම නම් මම ගියා. ජය වේවා!

Saturday, July 7, 2012

ඉස්සර කාලේ පත්තර දැන්වීම් ටිකක් බලමු ද?

පහුගිය දවසක මම ගියා අපේ මහ ගෙදරට. ගේ නම් දැන් ගරා වැටිලා. එහෙම ගිය වෙලාවට පොඩිකාලේ කරපු කියපු හැමදේම චිත්‍රපටියක් වගේ මතක් වෙනවා. ඇත්තටම ඒ ගෙදර අපි ගෙවපු දවස් වල මතකය තාමත් තියෙනවා. ඒ කතා පස්සෙ කියන්නම්, මොකද මම අද සූදානම් වෙන්නේ එහෙ ගිය වෙලාවේ මට ලැබුන දකින්න ලැබුණු අපූරු දෙයක් පෙන්වන්න. 

ඇත්තටම අපේ ගමේ පැරණි ගෙවල් වලින් එක ගෙදරක් තමයි අපේ මහගෙදර. ඒ නිසා ගොඩක් පැරණි පොත් පත් සහ සගරා මහගෙදර තාමත් තියෙනවා. ඒත් ගොඩක් ඒව වේයො කලා. එහෙම ම‍හගෙදර වේයෝ කාපු පත්තර පොත් අස්සේ ඇත්තටම වටින දේවල් තියෙනවා. ඒවගේ වටිනාකම දැන් තමයි දැනෙන්නේ. ඒත් ඉතිං ‍ඒව දැන් ගොඩක් විනාශ වෙලා. එහෙම තිබුන වේයො කාපු පොත් අස්සෙන් මට අපූරු සගරාවක් ‍හොයා ගන්න ලැබුනා. 

1962 මාර්තු මාසේ මුද්‍රණය කරපු රසවාහිනී සගරාවක් ඒක. ඒ සගරාවේ අපූරු වෙළද දැන්වීම ටිකක් තිබුණ. මට හිතෙනව ඒ දේවල් දකින්න මේ බ්ලොග් එක බලන අය කැමති වෙයි. ඒ දැන්වීම් වල තියෙන දේවල් කියවල බලන්න උත්සාහ කරන්න. අද දැන්වීම් එක්ක ඒ දැන්වීම් වල තියෙන දේවල් සසදල බලන්න. ‍ බලල ඉවරවෙලා, වෙලාවක් තිබුනොත් තමන්ට හිතෙන දේවල් ටිකත් ලියල යන්න . එහෙනම් මෙන්න බලන්න...


කව් ඇන්ඩ් ගේට්
 


හෝර්ලික්ස්

  
ලක්ස්

  
නෙකෝ



නෙස්ටමෝල්ට්

  
ෂෙල්


 විටාමිල්ක්


මෙතන තියෙන සමහර වෙළද ද්‍රව්‍ය නම් දැනුත් තියෙනවා. සමහර ‍ඒවා වෙනත් සමාගම් වලින් මිලදී ගෙන හෝ නැතුව වෙනත් නම් වලිනුත් තියෙනව ලු. ඒ ගැන දන්න උදවිය එහෙම ඉන්නව නම් ඒ ගැන ලියල යන්න. ජය වේවා!


Friday, March 2, 2012

රොමැන්ටික් වොරියර් - Mark Gresty

මේවර දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලේ හොදම ඉංග්‍රීසි වීඩියෝ අතරට නාම ‍යෝජනා වුණු සේනාධි ගුරුගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද මියුසික් වීඩියෝ එක.



Lyrics & Music : Mark Gresty
Video Director : Senadhi Guruge

Tuesday, January 31, 2012

මෙන්න වදන්, කන්න හදං

  • මිනිසා තමන්ගේ රචනයටත් අනුන්ගේ බිරියන්ටත් කැමතිය. (චීන)
  • නිර්වත්ත්‍ර මිනිසා ඈත සිට දැකිය හැකිය. අශීලාචාර මිනිසා දැකිය හැක්කේ අත ළගදී ය. (ලතින්)
  • මිනිසුන්  අතර හැර සතුන් අතර ගෑණු සතා අවලස්සනය. (නීග්‍රෝ)
  • නියම ගැහැණිය වහලියක් මෙන් ම ආර්යාවක් ද වේ.(බොස්නියාව)
  • ගැහැණිය නිර්මාණය කර තිබෙන් නේ පිරිමියාගේ මුදල් පසුම්බියටය.(ප්‍රංශ)
  • ගැහැණිය මැවුවේ පිරිමියාගේ සැප පහසුවටය.
  • ගැහැණිය විවාහයට පෙර අඩනවා. පිරිමියා විවාහයට පසු අඩයි.(පෝලන්තය)
  • ගැහැණියව යක්ෂයා ගිල්ලා. එත් දිරවා ගන්න බැරි වුණා. (පෝලන්තය)
(දයාරෝහණ අතුකොරළ මහතාගේ පොතක් ඇසුරෙනි)

Friday, January 13, 2012

මම උඹට ආදරෙයි!

මම මමට
වඩා
උඹ උඹට
වඩා
උන් උඹට
වඩා
මම උඹට
ආදරෙයි...

Sunday, December 11, 2011

කුරුදුගහ හැතැක්ම අධිවේගී මාර්ග පිවිසුවේ පිටිවීමේ මාර්ගය උඩින් ජලය බැස යයි. Highway Entrance of Kurudugaha after a Rain (2011-11-19)



ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගයට 2011 - 11 - 19 දින ජනතාවට ඇතුල් වීමට නිලවශයෙන් අවසර ලබා දෙන ලදි. එදින සවස ඇති වූ වැස්සෙන් පසු කුරුදුගහ හැතැක්ම පිවිසුම හරහා අධිවේගී මාර්ගයට පිවිසුන අප පිවිසුනි. එහි දී එම ස්ථානයේ ඇති පිටවීමේ මාර්ගය (කොළඹ සිට එන විට ඇල්පිටිය දෙසට ඇති) උඩින් ජලය ගලා යන ආකාරය අප කැමරාවේ සටහන් කරගැනීමට හැකි විය. අනාගත ආයෝජනයක් විය හැකි අධිවේගී මාර්ගය උඩින් ජලය බැසයනවා යනු එම මාර්ගයේ කල් පැවැත්මට කිසිසේත් යෝග්‍ය වන්නේ නැති බව අපගේ විශ්වාසය යි. 

Monday, November 21, 2011

‍මෙන්න වදන්..

පැරණි වූ පමණින් සියල්ල යහපත් නොවේ . අලුත් වූ පමණින් සියල්ල සදොස් නොවේ. බුද්දීමතා පරීක්ෂණය ගරු කරන අතර මෝඩයා අනුන් අනුව යාම ප්‍රිය කරයි.
-කාලිදාස -